නුවරඑළිය ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ග්‍රෙගරි වැවේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මේ හේතුවෙන් වැවේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා එහි වාන් දොරටුවක් අද (04) පස්වරුවේ විවෘත කිරීමට පියවර ගත් බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ ප්‍රදේශය පුරා පැතිර පවතින ඝන මීදුම සලකා බලමින්, සංචාරකයන්ගේ ආරක්ෂාව උදෙසා ග්‍රෙගරි වැවේ බෝට්ටු ධාවනය තාවකාලිකව අත්හිටුවීමට නුවරඑළිය මහ නගර සභාව පියවර ගෙන ඇත. තත්ත්වය සාමාන්‍ය අතට පත්වන තෙක් මෙම ආරක්ෂිත පියවර ක්‍රියාත්මක වනු ඇත.මේ අතර නුවරඑළිය-බදුල්ල, නුවරඑළිය-හැටන් මෙන්ම නුවරඑළිය-මහනුවර ප්‍රධාන මාර්ගයේ ටොප්පාස් සිට ලබුකැලේ දක්වා වූ ප්‍රදේශවල අධික මීදුම් තත්ත්වයක් පවතින බව වාර්තා වේ. එම නිසා අදාළ මාර්ග භාවිත කරන රියදුරන්ට දැඩි අවධානයෙන් සහ පරීක්ෂාකාරීව රථවාහන ධාවනය කරන ලෙස පොලිසිය විශේෂ ඉල්ලීමක් කරයි.



























