රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ නිල වැඩ කටයුතු රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) කොළඹ 07, මලලසේකර මාවතේ පිහිටි එහි කාර්යාලයේදී ආරම්භ විය. 2026 අයවැය යෝජනාවකට අනුව අංක 2494/05 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ස්ථාපිත කළ මෙම කොමිෂන් සභාවේ සභාපති ලෙස විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස් මහතා සහ ලේකම් ලෙස නාලක දිසානායක මහතා ඇතුළු සාමාජිකයන් 15 දෙනෙකු කටයුතු කරති.රාජ්‍ය සේවකයන්ගේ හා විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවලට විද්‍යාත්මක විසඳුම් සෙවීම, වෘත්තීයභාවය වර්ධනය කිරීම සහ නූතන ප්‍රවණතාවන්ට අනුව රාජ්‍ය සේවය ව්‍යුහාත්මකව ප්‍රතිශෝධනය කිරීම පිළිබඳ නිර්දේශ ලබාදීම මෙම කොමිෂන් සභාවට පැවරී ඇති ප්‍රධාන වගකීමකි. වසර විස්සකට පසු වැටුප් පිළිබඳව සහ ප්‍රථම වරට විශ්‍රාමිකයන්ගේ ප්‍රශ්න වෙනුවෙන්ම මෙවැනි කොමිෂන් සභාවක් පිහිටුවා ඇති බව මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, සියලු රාජ්‍ය සේවකයන්ට සහ 2025 ජනවාරි 01 වැනිදායින් පසු විශ්‍රාම ගිය පිරිසට හිමි වන වැටුප් වැඩිවීම 2025 සිට වසර තුනක් ඇතුළත අදියර තුනකින් ලබාදී 2027 ජනවාරි වන විට සම්පූර්ණ කරන බවයි. එමෙන්ම 2020 සිට අත්හිටුවා තිබූ නව බඳවාගැනීම් නැවත ආරම්භ කරමින් රාජ්‍ය සේවයට 120,000ක පිරිසක් අලුතින් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ක්‍රියාත්මක වන බවද පැවසීය.උත්සවයට එක්වූ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ, අතීතයේ පැවැති කොමිෂන් සභා මගින් අසාර්ථක වූ වැටුප් විෂමතා විසඳීමේ කාර්යය මෙම නව කොමිෂන් සභාව හරහා සාර්ථකව ඉටුවනු ඇතැයි බලාපොරොත්තු වන බවයි. එමෙන්ම පාලකයන්ගේ සුඛ විහරණයට යොදාගත් භෞතික සම්පත් මහජන සේවයට යොමු කිරීමේ ප්‍රතිපත්තිය මත, හිටපු අමාත්‍යවරයෙකුගේ නිල නිවස මෙම කොමිෂන් සභා කාර්යාලය බවට පත්කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.අද දින සිට මාස දෙකක කාලයක් ඇතුළත සියලුම වෘත්තීය සමිති, සංවිධාන සහ මහජනතාවට තමන්ගේ ගැටලු හා යෝජනා මෙම කොමිෂන් සභාව වෙත යොමු කිරීමට අවස්ථාව හිමිවේ. මේ පිළිබඳ නිල දැනුම්දීම එළැඹෙන සිකුරාදා ත්‍රෛභාෂා පුවත්පත් දැන්වීම් මගින් ප්‍රසිද්ධ කිරීමට නියමිතය.මෙම සමාරම්භක අවස්ථාවට රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සේනාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් සහභාගී වී සිටියහ.



























