සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් සංවිධානය කළ දින තුනක විශේෂ ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ දෙවැනි දිනය අද (09) ක්‍රියාත්මක වේ. දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 72ක් කේන්ද්‍ර කරගනිමින් ඊයේ ආරම්භ වූ මෙම මෙහෙයුම හෙට (10) දිනය දක්වා පැවැත්වීමට නියමිතය. මෙහි පළමු දින ප්‍රගතිය සම්බන්ධයෙන් කෙරුණු සමාලෝචනය ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් අද දිනයේදී මාධ්‍ය වෙත නිකුත් කිරීමට ද සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සඳහන් කළේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සෞඛ්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු පාර්ශ්ව රැසකගේ දායකත්වයෙන් පළමු දින කටයුතු ඉතා සාර්ථකව නිම වූ බවයි. එහිදී කණ්ඩායම් වශයෙන් ගෙයින් ගෙට ගොස් පරිශ්‍ර පරීක්ෂා කිරීම සිදු කෙරිණි. ප්‍රජා මූලික සංවිධාන සහ ස්වේච්ඡා කණ්ඩායම්වල දැඩි කැපවීම මත පළමු දිනය තුළ පමණක් කොට්ඨාස 72ක පරිශ්‍ර 70,000කට අධික ප්‍රමාණයක් නිරීක්ෂණය කිරීමට හැකි වී තිබේ.මෙම පරීක්ෂණවලදී නිවාස, පාසල් සහ රාජ්‍ය ආයතන පරිශ්‍ර රැසක මදුරුවන් බෝවන ස්ථාන සහ කීටයන් සහිත ස්ථාන රැසක් හඳුනාගෙන ඇති අතර, ඊට වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද කටයුතු කර ඇත. විශේෂයෙන්ම හිමිකරුවන් නොමැති සහ වසා දමා ඇති පාළු පරිශ්‍රවල මදුරුවන් බෝවීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව පෙන්වා දෙන වෛද්‍ය කන්නන්ගර මහතා, වැඩසටහන ක්‍රියාත්මක ඉදිරි දිනවලදී ද මීට උපරිම සහයෝගය දක්වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

























