බංග්ලාදේශයේ රාජ්‍ය සංචාරයක නිරත වන ලෙස එරට අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන් මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කළ නිල ආරාධනය අද (18) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී භාර දෙනු ලැබුවා. බංග්ලාදේශ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හුමායුන් කබීර් මහතා විසින් මෙම ආරාධනා පත්‍රය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබූ අතර, දෙරට අතර පවතින දේශපාලන, ව්‍යාපාරික, සංස්කෘතික සහ අධ්‍යාපනික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව එහිදී සාකච්ඡා වුණා.ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සහ දිළිඳුකම පිටුදැකීමේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව බංග්ලාදේශ රජය ඉහළ පැහැදීමකින් පසුවන බවත්, එම ආදර්ශය තම රටටද වැදගත් වනු ඇති බවත් බංග්ලාදේශ රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසුවා. ඊට අමතරව ඇඟලුම්, සංචාරක සහ පුනර්ජනනීය බලශක්ති යන ක්ෂේත්රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කර ගැනීමට දෙපාර්ශ්වයේම අවධානය යොමු වුණා.ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ දේශීය සමාගම්වලට බංග්ලාදේශයේ එම ක්ෂේත්රයේ සංවර්ධනයට දායක වීමේ හැකියාව පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නා. කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ඇතුළු ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් පිරිසක් මෙන්ම බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා ඇතුළු එරට රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිරිසක් ද මෙම හමුවට එක්ව සිටියා.



























