ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයේ නව ඉතිහාසයක් ලියමින්, යෙවාන් ඩේවිඩ් සිය මංගල FIA Formula 3 තරග වාරය ඉතා සාර්ථක ලෙස නිමා කිරීමට සමත්ව ඇත. ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්හිදී පැවති අවසන් තරග වටයේ සුදුසුකම් ලැබීමේ වටයේදී විශිෂ්ට දස්ක් දැක්වූ ඔහු, මිනිත්තු 1:50.023ක කාලයක් වාර්තා කරමින් තමන් සහභාගී වූ වාරයේ හොඳම ප්‍රතිඵලය ලෙස 9 වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. එම කාලය ප්‍රථම ස්ථානය දිනූ ක්‍රීඩකයාට වඩා තත්පර 0.273කින් පමණක් පසුපසින් තිබීම විශේෂත්වයකි.මෙම ක්‍රීඩා වාරය පුරා ඔහු ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකා නාමය ඉහළට ඔසවා තැබීමට සමත් වූ අවස්ථා රැසක් වාර්තා විය. විශේෂයෙන්ම සිල්වර්ස්ටෝන් හිදී පැවති Sprint තරගයේදී දෙවැනි ස්ථානය දිනාගනිමින්, FIA Formula 3 වේදිකාවකට නැගුණු ප්‍රථම ශ්‍රී ලාංකික රියැදුරා ලෙස ඔහු ඉතිහාසයට එක්විය. ඊට අමතරව මොන්සා තරග වටයේදී ද දක්ෂ ධාවනයක නිරත වෙමින් Sprint සහ Feature යන තරග දෙකෙහිම සිව්වැනි ස්ථාන දිනා ගැනීමටත්, තරග අතරතුර ප්‍රතිවාදීන් රැසක් පසුකරමින් ඉදිරියට ඒමටත් ඔහු සමත්විය.Euroformula Open තරගාවලියේ සමස්ත අනුශූරතාව සහ ශූරතා ගෞරව දිනාගැනීමෙන් අනතුරුව F3 තරග බිමට පිවිසි යෙවාන්, මෝටර් රථය හැසිරවීම සහ තරග කළමනාකරණය ක්‍රමයෙන් වර්ධනය කරගනිමින් මෙවර තරග වාරය අවසන් කළේය. ඉදිරි 2026 ධාවන ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා මැලිබන්, ඩිමෝ සමූහය, නැෂනල්ස් ට්‍රස්ට් බැංකුව, ෆයිඩම් ෆිනෑන්ෂල් සහ ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමය ඇතුළු ආයතන රැසකගේ අනුග්‍රහය සහ දායකත්වය ඔහුට හිමිවී තිබේ.



























