අතුරුදන් වූ ලලිත්කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන මහත්වරුන්ට අදාළ නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා එළඹෙන සැප්තැම්බර් 29 වන දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. එහි සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ (Online) යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි ලබාදීමට ඔහුට අවස්ථාව හිමිවේ.2011 වසරේ දෙසැම්බර් 10 වන දිනට යෙදී තිබූ ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් යාපනයේ පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාවක් සංවිධානය කරමින් සිටියදී ආවරංගල් ප්‍රදේශයේදී මොවුන් දෙදෙනා අතුරුදන් විය. ඒ අනුව ඥාතීන් විසින් 2012 වසරේදී අභියාචනාධිකරණය හමුවේ හේබියස් කෝපස් පෙත්සමක් ගොනු කළ අතර, ඊට අදාළ සාක්ෂි විභාග කර වාර්තාවක් සපයන ලෙස අභියාචනාධිකරණය විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කරනු ලැබීය.මෙම සිද්ධියට අදාළ නඩු විභාගය 2012 සැප්තැම්බර් මාසයේදී ආරම්භ වූ අතර, 2017 වසරේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ද සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කෙරිණි. කෙසේ වෙතත්, ආරක්ෂක හේතූන් මත යාපනය අධිකරණය හමුවට පැමිණීමට ඇති අපහසුතාව පෙන්වා දෙමින් මාර්ගගත ක්‍රමය ඔස්සේ සාක්ෂි දීමට අවසර දෙන ලෙස ඔහුගේ නීතිඥවරුන් කළ ඉල්ලීමට අධිකරණයේ අනුමැතිය හිමි විය.ඒ අනුව, අද දින යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම නඩුව යළි කැඳවූ අවස්ථාවේදී, නියමිත දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ යාපනය අධිකරණය වෙත සාක්ෂි සපයන ලෙසට හිටපු ජනාධිපතිවරයාට අවසන් නියෝගය නිකුත් කෙරිණි.



























