පොලිස්පති සහ අගවිනිසුරු නිල නිවෙස් වීඩියෝ කළ අයෙක් අත්අඩංගුවට

කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි පොලිස්පතිවරයාගේ සහ අගවිනිසුරුවරයාගේ නිල නිවෙස් හා ඒ අවට මාර්ගය වීඩියෝ ගත කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (06) රාත්‍රියේ කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අදාළ සැකකරු වීඩියෝ කිරීම සඳහා භාවිත කළ ජංගම දුරකථනය ද පොලිස් භාරයට ගෙන තිබේ.​සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි මෙම පුද්ගලයා රථය නවත්වා වීඩියෝ ගත කරන අයුරු පොලිස්පති නිල නිවසේ ප්‍රධාන දොරටුවේ රාජකාරියේ නිරතව සිටි විශේෂ කාර්ය බලකා නිලධාරියෙකුගේ නිරීක්ෂණයට ලක්ව ඇත. පසුව ඒ පිළිබඳව රථවාහන රාජකාරි නිලධාරියා හරහා කොළඹ හදිසි ඇමතුම් අංශය දැනුවත් කිරීමෙන් අනතුරුව, රාත්‍රී සංචාරක රාජකාරියේ යෙදී සිටි කුරුඳුවත්ත පොලිස් කණ්ඩායමක් පැමිණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.​අත්අඩංගුවට ගත් සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී පොලිස්පතිවරයාගේ සහ අගවිනිසුරුවරයාගේ නිල නිවෙස් මෙන්ම ඒ අවට මාර්ග දර්ශන ද එහි සටහන්ව තිබූ බව අනාවරණය වී තිබේ. පොලිසිය විසින් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු ප්‍රකාශ කර ඇත්තේ විනෝදාංශයක් ලෙස මෙම වීඩියෝ ගත කිරීම සිදු කළ බවයි.​කෙසේ වෙතත්, වැඩිදුර දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී මොහු සිය පදිංචි ස්ථානය සම්බන්ධයෙන් මෙන්ම වෙනත් කරුණු සම්බන්ධයෙන් ද පරස්පර ප්‍රකාශ සිදු කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. සැකකරු මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවෙකුද යන්න තහවුරු කරගැනීමට වෛද්‍ය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

What's your reaction?

Related Posts

1 of 1,317

Leave A Reply

Your email address will not be published. Required fields are marked *