වෛද්‍යවරුන් මුහුණ දෙන වැටුප් හා දීමනා ගැටලු සහ ක්ෂේත්රයේ පවතින දැඩි වෛද්‍ය හිඟය ඇතුළු ගැටලු කිහිපයකට ක්ෂණික විසඳුම් ලබාදෙන ලෙස බල කරමින් නොවැම්බර් 10 වනදා කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී දැවැන්ත විරෝධතාවක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසයි. මෙම ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ කළද ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව සංගමය පෙන්වා දෙයි.ආර්ථික අර්බුදයෙන් පසුව සහන පදනම මත වාහන ආනයනය කිරීමේ බලපත්‍ර අහෝසි කිරීම, වෛද්‍යවරුන්ගේ උපයන විට ගෙවීමේ බදු ඉහළ දැමීම සහ රජයේ වැටුප් සංශෝධන යටතේ අතිකාල හා නිවාඩු දින දීමනාවලින් කොටසක් අත්හිටුවීම වැනි කරුණු නිසා වෛද්‍යවරුන් දැඩි ආර්ථික දුෂ්කරතාවලට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එසේම, වර්තමානය වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සේවයේ නිරතව සිටින්නේ වෛද්‍යවරුන් 25,000කටත් අඩු සංඛ්‍යාවක් බවත්, 2015 වසරෙන් පසු විද්‍යාත්මක පදනමකින් කාර්ය මණ්ඩල සංශෝධනයක් සිදු කර නොමැති වීම නිසා දැනට සිටින වෛද්‍යවරුන්ට අධික සේවා බරක් පැටවී ඇති බවත් සංගමය අවධාරණය කරයි.පසුගිය අගෝස්තු මාසයේදී ලබන වසරේ අයවැය හරහා මෙම ගැටලුවලට විසඳුම් සපයන ලෙස යෝජනාවලියක් ඉදිරිපත් කළද රජයෙන් ඊට කිසිදු අවධානයක් යොමු වී නොමැති බව GMOA චෝදනා කරයි. පසුගිය සතිය පුරා දිවයින පුරා ප්‍රධාන රෝහල් අසල විරෝධතා පැවැත්වූ අතර, නොවැම්බර් 10 වනදා පැවැත්වෙන විරෝධතාව හරහා තමන්ගේ සාධාරණ ඉල්ලීම් ඉටුකරන ලෙස සංගමය රජයෙන් නැවතත් ඉල්ලා සිටියි.



























