අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටියදී පලායාමට සැලසුම් කළ බවට චෝදනා ලැබ සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් “හරක් කටා” ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරිය නොහැකි බවට ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මේ බව දැනුම් දී ඇත.විත්තිකරුවන්ගේ ඇප අයැදුම්පත සම්බන්ධයෙන් කරුණු දක්වමින් රජයේ නීතිඥවරයා කියා සිටියේ අභියාචනයක් ගොනු කිරීමට නියමිත බැවින් මෙම අවස්ථාවේ ඇප ලබාදීම නුසුදුසු වන අතර, ඔවුන් නිදහස් කළහොත් යළි අධිකරණයට ඉදිරිපත් කිරීමේ දුෂ්කරතා පවතින බැවින් ඒ සඳහා ලිඛිත විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි. කෙසේ වෙතත්, විත්ති පාර්ශ්වය පෙන්වා දුන්නේ තම සේවාදායකයන් දැනටමත් වසර තුනකට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවන හෙයින්, අභියාචනයක් හේතුවෙන් පමණක් ඇප ඉල්ලීම නොසළකා හැරිය නොහැකි බවත්, නඩුව සලකා බලා නිසි නියෝගයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටි බවය.ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා, සැකකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අගෝස්තු මස 20 වැනි දින ප්‍රකාශයට පත් කරන බව නියෝග කළේය. තවද, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වූ චෝදනා ඉවත් කර ඇති පසුබිමක් තුළ, තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින හරක් කටා නමැති විත්තිකරු වෙනත් සුදුසු බන්ධනාගාරයකට මාරු කරන ලෙසද අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබේ.



























