හොරණ මහජන බැංකු ශාඛාවෙන් රුපියල් මිලියන 35ක මුදලක් මංකොල්ල කෑමේ සිද්ධියට අදාළව, එම බැංකු පරිශ්‍රය තුළම සඟවා තිබූ රුපියල් මිලියන 1.747ක මුදලක් සහ මංකොල්ලයට යොදාගත් බවට සැකකෙරෙන බෑගයක් විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. බැංකු කාර්යාලය ඇතුළත තිබූ යකඩ රාක්කයක් සහ බිත්තියක් අතර ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබියදී සොයාගත් මෙම නඩු භාණ්ඩ මේ වන විට අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසියට සහාය වීමක් වශයෙන්, එම බැංකු ශාඛාවේ මුදල් පරිපාලන ක්‍රියාවලිය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විදානගම මහත්මිය පසුගිය ජුනි 08 වැනිදා බැංකු කළමනාකරුට නියෝග කළාය. බැංකුවේ විධිමත් මූල්‍ය සහ මුදල් හැසිරවීමේ ක්‍රියා පටිපාටි පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම විමර්ශන කටයුතු ශක්තිමත් කිරීමට අත්‍යවශ්‍ය බව පොලිසිය විසින් අධිකරණයට පෙන්වා දීමෙන් පසු මෙම නියෝගය නිකුත් විය.අධිකරණ නියෝගයට අනුව අදාළ මූල්‍ය වාර්තාව පොලිසිය වෙත ලබාදීමට බැංකු කළමනාකාරිත්වය පියවර ගෙන ඇත. බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක දොළමුල්ල සහ පොලිස් පරීක්ෂක ජූඩ් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සිදුවීමට අදාළ කරුණු අධිකරණය හමුවේ ගොනු කර ඇති අතර, මංකොල්ලයේ සුලමුල සෙවීම සඳහා පොලිසිය දැනටමත් පුළුල් විමර්ශනයක් අරඹා තිබේ.

























