අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකට ඉඩ නොතබන බව ජනාධිපති පවසයි

රට තුළ ඉන්ධන, විදුලිය, කෘෂිකාර්මික පොහොර සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය සේවාවන් හා ද්‍රව්‍යයන්හි හිඟයක් ඇති වීමට කිසිසේත්ම ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී ඒ මහතා පෙන්වා දුන්නේ වෙළෙඳපොළ මිල ගණන් ඉහළ ගිය ද, මෙවැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව අඛණ්ඩව සැපයීම රජයේ මූලිකම ප්‍රමුඛතාව වන බවයි.​මෙහිදී වර්තමාන ලෝක වෙළෙඳපොළේ පවතින තෙල් මිල ඉහළ යෑමේ ප්‍රවණතාව සහ ශ්‍රී ලංකාව මුහුණ දෙන විදේශ විනිමය අර්බුදය පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ විශේෂ අවධානයක් යොමුව තිබේ. පසුගිය අප්‍රේල් මාසය වන විට මෙරට ආනයන පිරිවැය ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකේ සීමාව ඉක්මවා ගොස් තිබූ අතර, රටේ ඩොලර් සංචිතය සුරක්ෂිත කරගැනීම වෙනුවෙන් මෝටර් රථ ආනයනය සඳහා අධිභාරයක් පැනවීමට රජය පියවර ගත්තේ එම ආර්ථික පසුබිම සැලකිල්ලට ගනිමිනි.​බලශක්ති හෝ පොහොර වැනි සේවාවන් අඩාල වීම සමස්ත රටේම පැවැත්මට දැඩි බලපෑමක් එල්ල කරන බැවින්, එවැනි ව්‍යාකූලත්වයක් රට තුළ නිර්මාණය වීමට ඉඩ නොදෙන බව රාජ්‍ය නායකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. එසේම ඉදිරියේදී මෙරට ආනයන පිරිවැය තවදුරටත් කළමනාකරණය කර ගැනීම සහ පාලනය කිරීම වෙනුවෙන් ඉදිරියේදී තවත් විශේෂිත ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,176

Leave A Reply

Your email address will not be published. Required fields are marked *