පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පරිසරයට රසායනික ද්‍රව්‍ය මුදාහැරීමක් සිදුවීම හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ. ජලයට යම් දූෂක ද්‍රව්‍යයක් එකතු වී ඇද්ද යන්න තහවුරු කරගන්නා තෙක් පූර්වාරක්ෂක පියවරක් ලෙස මෙම තීරණය ගත් බව එහි සභාපති චන්දන බණ්ඩාර මහතා පවසා ඇති අතර, මේ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ආරක්ෂක අංශ එක්ව පුළුල් පරීක්ෂණයක් පවත්වන බවත්, පොලිසියට පැමිණිලි කර නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති බවත් ඔහු සඳහන් කර ඇත.කැලණි ගඟේ ජල ලබාගැනීමේ ස්ථානය අසල ජලයේ ගුණාත්මකභාවයට බලපෑ මෙම හදිසි තත්ත්වය පාලනය කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වහාම ක්‍රියාත්මක වී ඇත. ඊයේ (24) සවස මෙම තත්ත්වය පිළිබඳව දැනුවත් වූ බව ප්‍රකාශ කළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, මූලික පරීක්ෂණවලදී අදාළ රසායනික ද්‍රව්‍ය විෂ සහිත නොවන බවට අනාවරණය වී ඇති බවත්, තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙමින් පවතින බවත්ය.කෙසේ වෙතත්, ත්‍රිවිධ හුමුදාවන්ගේ සහයෝගය ඇතිව තත්ත්වය පාලනය කිරීමට ජල සම්පාදන මණ්ඩලය සමත් වී තිබේ. ඒ අනුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිර්දේශය මත ජලය අවශ්‍ය ප්‍රමිතීන්ට අනුකූල බව පරීක්ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව යළි ජල සැපයුම යථා තත්ත්වයට පත් කර ඇත.



























