දිවයින පුරා ඇදහැලෙන තද වර්ෂාපතනයත් සමඟ දිස්ත්‍රික්ක කිහිපයක නායයෑමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි. ඒ අනුව කෑගල්ලේ කොට්ඨාස 6ක්, රත්නපුරේ කොට්ඨාස 3ක් සහ නුවරඑළියේ කොට්ඨාස 3ක් ඇතුළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක් සඳහා පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. විශේෂයෙන්ම කළු ගඟ සහ ගිං ගඟ ආශ්‍රිත පහත්බිම්වල ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින්, ගංවතුර අවදානම කළමනාකරණය සඳහා නාවික හමුදා සහන කණ්ඩායම්ද සීරුවෙන් තබා ඇත.අධික වර්ෂාව හේතුවෙන් මධ්‍යම කඳුකරයේ මාවුස්සාකැලේ සහ කාසල්රී ජලාශ මේ වන විටත් පිටාර මට්ටමට ළඟා වී ඇති අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ජලාශ රැසක වාන්දොරටු විවෘත කිරීමට වාරිමාර්ග ඉංජිනේරුවෝ පියවර ගෙන ඇත. ඒ අනුව ලුණුගම්වෙහෙර, වෙහෙරගල, තබ්බෝව සහ නාච්චාදූව යන ජලාශවල වාන්දොරටු හරහා කිරිඳි ඔය, මැණික් ගඟ සහ මල්වතු ඔයට ජලය මුදාහැරේ. එසේම පොල්ගොල්ල ජලාශයේ වාන්දොරටු විවෘත කිරීම නිසා මහවැලි ගඟේ ජල ධාරිතාවද ඉහළ ගොස් ඇති බැවින් ගඟ දෙපස ජනතාව දැඩි අවදියෙන් පසුවිය යුතුය.පසුගිය පැය කිහිපය තුළ වැඩිම වර්ෂාපතනය මිලිමීටර් 204ක් ලෙස කැස්බෑව සහ පිළියන්දල ප්‍රදේශවලින් වාර්තා වූ අතර, කොළඹ සහ තදාසන්න පහත්බිම් රැසක් මේ වන විටත් ජලයෙන් යටවී තිබේ. පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මාර්ග අවහිරතා සහ දේපළ හානි සිදුවිය හැකි බැවින්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගංගා නිම්න සහ බෑවුම් සහිත ප්‍රදේශවල පදිංචිකරුවන් තම ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙසයි.

























