රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රැඳවුම් නියෝග මත පසුවෙමින් සිටියදී හදිසියේ අසනීප වීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනා මත ඉකුත් පෙබරවාරි 25 වනදා අත්අඩංගුවට ගත් ඒ මහතා, CID නිලධාරීන් තමන්ට අමානුෂික ලෙස සලකන බව පවසමින් දියත් කළ මාරාන්තික උපවාසයක් අතරතුර මෙලෙස රෝහල්ගත කර ඇත. මේ වනවිට ඔහු CID සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) දැඩි ආරක්ෂක රැකවල් මැද ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.ඔහුගේ සුවදුක් බැලීමට දුර සිට පමණක් අවසර ලැබී ඇති බැවින්, සැමියා ලවා උපවාසය අත්හැරවීමට සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා නීතිඥවරුන්ට ඔහුව හමුවීමට වහාම අවස්ථාව සලසා දෙන ලෙස සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය CID අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත. සලේ මහතා ආහාර හා ජලය ප්‍රතික්ෂේප කරමින් උපවාසයක නිරත වන බව මුලින්ම අනාවරණය කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා වන අතර, පසුව ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් ද එය තහවුරු කර තිබිණි.මේ අතර, මෙම රඳවා තබා ගැනීමට සහ සිදුවන සැලකීම්වලට විරෝධය පළ කරමින් අද පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අඛණ්ඩ සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ විය. මහා සංඝරත්නය, සලේ මහතාගේ මෑණියන් මෙන්ම සර්වජන බලය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නියෝජිතයන් පිරිසක් මේ සඳහා එක්ව සිටිති. එහිදී සත්‍යග්‍රහයේ නිරතවන්නන්ට අසුන්ගැනීම සඳහා පුටු රැගෙන ඒමට උත්සාහ කිරීමේදී පොලිසියෙන් එල්ල වූ බාධා කිරීම් හේතුවෙන් එම ස්ථානයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ද හටගෙන තිබේ.

























