සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙමින් උදාවූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ. අස්වනු නෙළා අවසන් කර සොබාදහම සමඟ බැඳුණු මෙම වසන්ත උදාව, ශ්‍රී ලාංකේය ජනතාවගේ අනන්‍යතාවය සහ අභිමානය විදහා දක්වන ප්‍රධානතම සංස්කෘතික උළෙල බව ඇය පෙන්වා දෙයි.අලුත් අවුරුද්ද යනු හුදෙක් චාරිත්‍ර සමූහයක් පමණක් නොව, එය සමාජය තුළ සහජීවනය, සමගිය සහ අන්‍යෝන්‍ය සබඳතා යළි පණගන්වන නව පුනරුදයක් බව අගමැතිනියගේ පණිවිඩයේ සඳහන් වේ. මුළු රටම එකම නැකතකට, එකම රිද්මයකට පෙළගැසීම තුළින් ප්‍රකට වන සාමූහිකත්වය, පවුලක් මෙන්ම රටක් ලෙස නව බලාපොරොත්තු ඇතිව ඉදිරියට යාමට ලැබුණු වටිනා අවස්ථාවක් ලෙස ඇය හඳුන්වයි.විශේෂයෙන්ම සිතේ පවතින වාදභේද සහ අමනාපකම් පසෙක ලා සහෝදරත්වයෙන් නව ආරම්භයක් ලබා ගැනීම අවුරුදු උදාවේ සැබෑ ආශිර්වාදය බව අගමැතිනිය අවධාරණය කළාය. වර්තමාන ගෝලීය අර්බුද සහ ආර්ථික අභියෝග හමුවේ වුවද, ජාතියක් ලෙස අප දැක්වූ අභීත ඔරොත්තු දීමේ හැකියාව ඉදිරියටත් පවත්වා ගැනීම සැමගේ වගකීමක් බව ඇය මෙහිදී සිහිපත් කළාය.දේශයේ අනාගතය වෙනුවෙන් විදේශගතව සේවය කරන ලාංකේය සහෝදර සහෝදරියන් ද ගෞරවයෙන් සිහිපත් කළ අග්‍රාමාත්‍යවරිය, මැදපෙරදිග ඇතුළු ලොව පුරා වෙසෙන ඔවුන් සැමට ආරක්ෂාකාරී සහ සුවදායක හෙට දවසක් ප්‍රාර්ථනා කර සිටියාය. රටේ දියුණුව උදෙසා ඔවුන් දක්වන දායකත්වය අගය කළ ඇය, සැමට එකසේ සෞභාග්‍යය උදාවන කාලයක් උදාවේවායි ප්‍රාර්ථනා කළාය.සමාජීය සහ දේශපාලනික වශයෙන් සිදුවෙමින් පවතින දැවැන්ත පරිවර්තනයක කොටස්කරුවන් ලෙස, සැබෑ සතුට පිරි අනාගතයක් වෙනුවෙන් කැපවීමේ වැදගත්කම අගමැතිනිය අවධාරණය කළාය. සියලු බාධක ජයගෙන සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමට අලුත් සිතිවිලිවලින් යුතුව අදිටන් කරගත යුතු බව ඇය සිය පණිවිඩය මඟින් පවසා සිටියි.ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරි වාසනාවන්ත වසරක් වේවායි ප්‍රාර්ථනා කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සියලු ශ්‍රී ලාංකිකයන් වෙත හෘදයාංගම සුබපැතුම් එක් කර තිබේ. මෙම උත්සව සමය සහෝදරත්වය තවදුරටත් ශක්තිමත් කරන කාලයක් වනු ඇතැයි ඇය වැඩිදුරටත් විශ්වාසය පළ කළාය.























