අම්බලන්තොට, මාල්පෙත්තාව ප්‍රදේශයේ සිදු වූ දරුණු පවුල් ආරවුලක් හේතුවෙන් මාමණ්ඩිය විසින් එල්ල කරන ලද පොලු පහරකින් 26 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මරණයට පත්ව ඇත්තේ අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි. සැකකාර මාමණ්ඩිය මේ වන විට අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.පොලිස් විමර්ශනවලට අනුව, මියගිය පුද්ගලයාගේ බිරිඳ සිය පියාගේ නිවසේ රැඳී සිට ඇති අතර, ඊයේ (07) රාත්‍රී 11.00ට පමණ අධික ලෙස බීමත්ව පැමිණි සැමියා ඇයව කැඳවාගෙන යෑමට උත්සාහ කර තිබේ. එහිදී ඇති වූ බහින්බස්වීමක් මත කෝපයට පත් සැමියා, තමන් පැමිණි ටිපර් රථය එම නිවසේ ප්‍රධාන ගේට්ටුවේ හප්පා ඊට බරපතළ හානි සිදු කර ඇති බව වාර්තා වේ.පසුව ඔහු නිවස තුළට කඩා වැදී බිරිඳට පහර දීමට උත්සාහ කර ඇති අතර, එය වැළැක්වීමට ඉදිරිපත් වූ බිරිඳගේ පියා විසින් බෑණාට පොල්ලකින් පහර දී ඇත. හිසට වැදුණු බරපතළ පහරින් ඇද වැටුණු තරුණයා අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



























