ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ ගියද ඊට සාපේක්ෂව ඉන්ධන දීමනා සංශෝධනය නොවීම හේතුවෙන් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණිවල නිලධාරීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයකට අනුව වත්මන් දීමනා ගණනය කරනු ලබන්නේ පසුගිය මාර්තු 01 වනදා පැවති මිල ගණන් පදනම් කරගෙන වන අතර, පවතින ඉහළ මිල හමුවේ එම ස්ථාවර දීමනාව නිල රාජකාරි කටයුතු සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ඔවුහු පෙන්වා දෙති.පසුගිය මාර්තු මාසයේ මිල ගණන් සහ වත්මන් වෙළඳපොළ මිල අතර විශාල පරතරයක් පවතින බව නිලධාරීන්ගේ වාර්තා මඟින් සනාථ වේ. ඒ අනුව මාර්තු 01 වනදා රුපියල් 281ක්ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 407ක් දක්වාත්, රුපියල් 293ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 434ක් දක්වාත් ඉහළ ගොස් ඇත. මීට පෙර ඉන්ධන සලාකනය කිරීම සහ බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් කිරීම වැනි පියවරයන් සැලකිල්ලට ගනිමින්, මැති ඇමතිවරුන් ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ ඉන්ධන දීමනා සීමා කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණි.පවතින මෙම තත්ත්වය රාජ්‍ය සේවයේ දෛනික කාර්යක්ෂමතාව පවත්වා ගැනීමට දැඩි බාධාවක් වී ඇති බව නිලධාරීහු පවසති. මෙම අර්බුදයට විසඳුමක් ලෙස, පවතින වෙළඳපොළ මිල ගණන්වලට අනුකූලව අදාළ මාසයට ගැළපෙන පරිදි ඉන්ධන දීමනාව වහාම සංශෝධනය කර දෙන ලෙස රජයෙන් නිල වශයෙන් ඉල්ලා සිටීමට විධායක නිලධාරීන් මේ වන විට සූදානම් වෙමින් සිටී.



























