එල්නිනෝ බලපෑමෙන් දිස්ත්‍රික්ක 7ක පුද්ගලයින් 81,865ක් පීඩාවට

පවතින එල්නිනෝ කාලගුණික බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 23ක පවුල් 25,628ක පුද්ගලයින් 81,865ක් මේ වන විට විවිධ අපහසුතාවන්ට මුහුණ දී සිටිති. මෙයින් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයෙන් වන අතර, එහි පමණක් බලපෑමට ලක්වූ සංඛ්‍යාව 33,023කි. මොනරාගල, පොළොන්නරුව, හම්බන්තොට, අනුරාධපුරය සහ අම්පාර වැනි ප්‍රදේශවල දැඩි වියළි කාලගුණ තත්ත්වයක් සමඟ පානීය ජල ගැටලු ද උද්ගත වී තිබේ.​මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20ක ජනතාව වෙත බවුසර් මඟින් පානීය ජලය බෙදා හැරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර, එයින් පවුල් 23,048කට සහ පුද්ගලයින් 72,153 දෙනෙකුට සහන සැලසී ඇත. දැඩි නියඟය හේතුවෙන් වැල්ලවාය ප්‍රදේශයේ කුඩා වැව්වල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටී ඇති අතර බතලආර වැව සම්පූර්ණයෙන්ම සිඳී ගොස් තිබේ. එමෙන්ම දිඹුලාගල සහ මැදිරිගිරිය ඇතුළු ප්‍රදේශවල ජනතාවටද පානීය ජලය සැපයීම සඳහා රජය මැදිහත්වී කටයුතු කරයි.​නියඟය නිසා වී වගාව ඇතුළු බඩඉරිඟු සහ අනෙකුත් බෝග බිම් විශාල වශයෙන් විනාශ වී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පෙන්වා දෙයි. ඒ අනුව අනුරාධපුරයේ අක්කර 1,923ක්, මොනරාගල අක්කර 1,401ක්, පොළොන්නරුවේ අක්කර 1,259ක්, අම්පාරේ අක්කර 1,055ක් සහ හම්බන්තොට අක්කර 783ක් ලෙස වගා හානි සිදුවී ඇති අතර, පීඩාවට පත් ගොවීන්ට කඩිනමින් වන්දි ලබා දීම සඳහා රුපියල් මිලියන 3,000ක මුදලක් වෙන් කර ඇත.​මේ අතර නැගෙනහිර හා උතුරු මැද පළාත්වලත්, වව්නියාව, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ජනතාවට මිනිස් සිරුරට දැඩි ලෙස දැනෙන උණුසුම් කාලගුණයක් පවතින බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස කාලගුණ අංශ දැනුම් දෙයි. කෙසේ වෙතත්, දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ යම් වර්ධනයක් අද දිනයේ දැකගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 1,302

Leave A Reply

Your email address will not be published. Required fields are marked *