කාවන්තිස්ස ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය සහ වනජීවී අංශවල විශේෂ අවධානය

පරිසර අමාත්‍යවරයාගේ සෘජු මැදිහත්වීම මත, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සහ පශු වෛද්‍යවරුන් එක්ව රෝගී තත්ත්වයේ පසුවන කාවන්තිස්ස ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් දිනපතා විශේෂ සමාලෝචන සාකච්ඡා පවත්වමින් සිටියි. ඊයේ රාත්‍රියේදීද පරිසර අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් පශු වෛද්‍ය කණ්ඩායම සමඟ අන්තර්ජාලය ඔස්සේ විශේෂ සාකච්ඡාවක නිරත වූහ.​මෙහිදී පශු වෛද්‍යවරුන් වන ගංගා, චන්දන, ධර්මකීර්ති සහ ඉසුරු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ වෛද්‍ය කණ්ඩායම් හතරක් මඟින් ඇතාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර අඛණ්ඩව ලබාදීමට කටයුතු යොදා ඇත. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී මෙම සතාගේ හැසිරීම් රටාවන් සහ සංචරණ ප්‍රවණතා නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ ක්ෂේත්‍ර කණ්ඩායම් යොදවා තිබීම කැපී පෙනෙන අතර, අවශ්‍ය වන නවීන වෛද්‍ය උපකරණ සහ පහසුකම් දිනෙන් දින කඩිනමින් සැපයීමට අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.​තවදුරටත් ගල්ගමුව, ගිරිබාව සහ මීගලෑව යන ප්‍රදේශවල සැරිසරන කාවන්තිස්ස ඇතාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අදාළ කලාප භාර වනජීවී කාර්යාල දැඩි විමසිල්ලෙන් (High Alert) තබා කටයුතු කරන ලෙස බලධාරීන්ට දැඩි නියෝග නිකුත් කර තිබේ. ඇතාගේ ජීවිතය ආරක්ෂා කරගනිමින්, අවශ්‍ය සියලු වෛද්‍ය සහයෝගය උපරිම මට්ටමින් ලබාදීම සඳහා සියලු පාර්ශ්වයන් මේ වන විට අත්වැල් බැඳගෙන සිටිති.

What's your reaction?

Related Posts

1 of 1,379

Leave A Reply

Your email address will not be published. Required fields are marked *