කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ පරිදි පාර්ලිමේන්තු සභාවාරයන් ජුනි මස 09 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි. ඒ අනුව සෑම දිනකම පෙරවරු 9.30 සිට විවිධ පාර්ලිමේන්තු කටයුතු සහ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත. විශේෂත්වයක් ලෙස ජුනි 10 වැනි බදාදා දින පෙරවරුවේ වෙන් කර ඇත්තේ අග්‍රාමාත්‍යතුමියගෙන් ප්‍රශ්න විමසීම සඳහාය.මෙම සතිය තුළ වැදගත් පනත් කෙටුම්පත් සහ නියෝග රැසක් විවාදයට ගැනීමට නියමිතව තිබේ. ජුනි 09 අඟහරුවාදා මුද්දර ගාස්තු, වරාය, නිෂ්පාදන බදු සහ එකතු කළ අගය මත බදු පනත් යටතේ වන නියෝග මෙන්ම මහජන ආරක්ෂක ආඥාපනත යටතේ වන යෝජනාවද විවාදයට ගැනේ. ජුනි 10 වනදා විදුලි සංදේශ බදු සහ මුදල් සංශෝධන පනත් කෙටුම්පත් දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වෙන අතර, ජුනි 11 බ්‍රහස්පතින්දා සමථකරණ සහ සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනතට අදාළ කටයුතු සිදු කෙරේ. ජුනි 12 සිකුරාදා දින ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති සහ රුපියල් බිලියන 20ක පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගැනීමට නියමිතය.මේ අතර විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනා සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳ විවාදයන් බදාදා සහ බ්‍රහස්පතින්දා පස්වරුවේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. සිකුරාදා පස්වරුවේදී මහ බැංකුවේ 2025 වාර්ෂික ආර්ථික විවරණය පිළිබඳ කල් තැබූ විවාදය තවදුරටත් පැවැත්වේ. මීට අමතරව, මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම වෙනුවෙන් මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන විශේෂ වැඩසටහනක්ද ජුනි 10 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

























