ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ නිර්මාතෘවරයා මෙන්ම වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් දිනා දීම උදෙසා පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ අසහාය කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහ මහතාගේ ගුණානුස්මරණ සැමරුම අද (30) පෙරවරුවේ උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙරට වෘත්තීය සමිති ඉතිහාසය වෙනස් කළ ඒ මහතාට උපහාර දැක්වීම වෙනුවෙන් කොළඹ ගුණසිංහපුර පිහිටි එතුමාගේ පිළිරුව අභියස මෙම විශේෂ අනුස්මරණ උළෙල සංවිධානය කර තිබුණි.මෙම ගුණසමරු උළෙල එක්සත් ජනරජ පෙරමුණ විසින් සංවිධානය කර තිබූ අතර, එහිදී ඒ.ඊ. ගුණසිංහ ශ්‍රීමතාණන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වමින් එතුමාගේ ජනතා මෙහෙවර ඇගයීමට ලක් කෙරිණි. දේශපාලන ක්‍රියාකාරීන් රැසක් එක්ව සිටි මෙම අවස්ථාවේදී, මෙරට කම්කරු පන්තිය අද භුක්ති විඳින නිදහස සහ අයිතිවාසිකම් වෙනුවෙන් එතුමා එදා කළ අසමසම කැපවීම පිළිබඳව නායකයින් විසින් කෙටි අනුශාසනා ද සිදු කරන ලදී.විශේෂත්වයක් වූයේ මෙම ගුණසමරු අවස්ථාවට ඒ.ඊ. ගුණසිංහ මහතාගේ මිනිබිරිය වන ජස්මින් ගුණසිංහ මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයින් ද එක්ව සිටීමයි. කම්කරු ජනතාවගේ හඬ බලවතුන් හමුවේ ප්‍රබල ලෙස ප්‍රකාශ කළ සිය මුත්තණුවන් වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම උපහාර උත්සවය සඳහා වෘත්තීය සමිති නියෝජිතයින් සහ මහජනතාව ද ගෞරව පූර්වකව සහභාගී වී සිටියහ.

























