රාජ්‍ය සේවයේ පාරදෘශ්‍යභාවය උදෙසා ජාතික සුපිළිපන් සතිය ඇරඹෙයි

“සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව පෙරදැරි කරගනිමින් ජූලි 27 වනදා සිට ජූලි 31 දක්වා ජාතික සුපිළිපන් සතිය ක්‍රියාත්මක කෙරේ. ජනාධිපති ලේකම් කාර්යාලය සහ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන එක්ව සංවිධානය කරන මෙම විශේෂ වැඩසටහන, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතාගේ අත්සනින් යුතු චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත්කර ඇත. රාජ්‍ය පරිපාලනය තුළ දූෂණය පිටුදැකීම, කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ස්වයං විනයෙන් යුතු ආදර්ශවත් රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.​මෙම ජාතික වැඩසටහන ආරම්භ කරමින් ජූලි 27 වනදා පෙරවරු 9.00 ට ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු සියලුම රාජ්‍ය ආයතනවලදී “ජාතික සුපිළිපන් දිවුරුම” ලබාදීම සහ “ආචාර ධර්ම සංග්‍රහය” එළිදැක්වීම සිදු කෙරේ. රාජ්‍ය නිලධාරීන් තම හෘද සාක්ෂියට එකඟව, විනිවිදභාවයෙන් සහ සදාචාරාත්මකව ජනතා සේවයේ යෙදවීම තහවුරු කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ.​දින පහක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහන යටතේ දිනපතා වෙනස් ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කෙරේ. ඒ අනුව ජූලි 27 වනදා ආයතනික සුපිළිපන්බව, 28 වනදා මූල්‍ය, ඩිජිටල් හා තාක්ෂණික සුපිළිපන්බව, 29 වනදා ආධ්‍යාත්මික හා සංස්කෘතික සුපිළිපන්බව, 30 වනදා මෙහෙයුම් හා සේවා සැපයීමේ සුපිළිපන්බව මෙන්ම 31 වනදා පාරිසරික හා ප්‍රජා සවිබලගැන්වීමේ සුපිළිපන්බව ප්‍රවර්ධනය කිරීමට නියමිතය.​රාජ්‍ය සේවයේ සිදුවන දූෂණ හෝ අක්‍රමිකතා සම්බන්ධයෙන් මහජනතාවට පහසුවෙන් පැමිණිලි කිරීම සඳහා සෑම රාජ්‍ය ආයතනයකම “අභ්‍යන්තර කටයුතු ඒකක” ස්ථාපිත කර ඇත. QR කේත, විද්‍යුත් තැපෑල, ලිපි හෝ දුරකථන ඇමතුම් ඔස්සේ මෙම පැමිණිලි යොමු කළ හැකි අතර, එම පැමිණිලි සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන් ගන්නා පියවර නිරීක්ෂණය කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් විශේෂ ඩිජිටල් පද්ධතියක්ද නිර්මාණය කර තිබේ.​මෙම ජාතික සුපිළිපන් සතිය ජූලි 31 වනදායින් අවසන් වුවද, එහි පරමාර්ථ සහ ක්‍රියාකාරකම් එළඹෙන දෙසැම්බර් 31 වනදා දක්වා සියලුම රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන තුළ අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට සැලසුම් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,256

Leave A Reply

Your email address will not be published. Required fields are marked *