ශ්‍රීලංකන් ගුවන් සේවයට නව ප්‍රධානියෙක්: අයදුම්පත් 200ක් අතරින් 75ක් කෙටි ලැයිස්තුවට

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) තනතුර සඳහා අයදුම්පත් 200ක් පමණ ලැබී ඇති අතර ඉන් අයදුම්කරුවන් 75 දෙනෙකු මේ වන විට කෙටි ලැයිස්තුගත කර ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මේ පිළිබඳව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සඳහන් කළේ පැපුවා නිව්ගිනියා ජාතික ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා ඉදිරිපත් කළ අයදුම්පත රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි. ගුවන් සේවයේ මීළඟ පරිවර්තනීය අදියර මෙහෙයවීම සඳහා දූරදර්ශී නායකයෙකු සොයා යන බව නිවේදනය කරමින් පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිටම මෙම නායකත්ව වෙනස සඳහා සූදානම් කිරීම් ආරම්භ විය.​මෙම තනතුර සඳහා සුදුසුකම් ලෙස පිළිගත් ජාත්‍යන්තර ගුවන් සමාගමක ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ වසර 10කට නොඅඩු පළපුරුද්දක් සහ වාණිජ ගුවන් සේවා, පියාසර මෙහෙයුම්, ඉංජිනේරු සහ නඩත්තු අංශ පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතු බව ගුවන් සේවය නිකුත් කළ දැන්වීමේ සඳහන් වේ. මෙහිදී වයස් සීමාව වසර 55ක් ලෙස දක්වා තිබුණද, සුවිශේෂී දක්ෂතා සහිත අයදුම්කරුවන් සඳහා එය බාධාවක් නොවන බවත්, ශ්‍රී ලාංකික මෙන්ම විදේශීය අයදුම්කරුවන්ට ද මේ සඳහා අවස්ථාව විවෘත බවත් පවසා ඇත.​ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ධුරය අවසන් වරට හෙබවූයේ 2022 වසරේ සිට ආයතනය මෙහෙයවූ රිචඩ් නටාල් (Richard Nuttall) මහතාය. ඔහු 2025 අප්‍රේල් මාසයේදී සිය ධුරයෙන් ඉල්ලා අස් වූ අතර පසුව පිලිපීන ගුවන් සේවයේ (Philippine Airlines) සභාපතිවරයා ලෙස වැඩභාර ගන්නා ලදී.

What's your reaction?

Related Posts

1 of 1,006

Leave A Reply

Your email address will not be published. Required fields are marked *