සිව්දින පාර්ලිමේන්තු සභා වාරය අද සිට ඇරඹෙයි

පාර්ලිමේන්තුව අද (09) සිට ලබන 12 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය නිවේදනය කරයි. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් මෙම දිනවල න්‍යාය පත්‍රය සකස් කර ඇත. ඒ අනුව සභා වාරය පැවැත්වෙන සෑම දිනකම මුල් කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සහ ස්ථාවර නියෝග යටතේ වන පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇති අතර, ජුනි 10 වැනි බදාදා දින පෙරවරුවේ විශේෂයෙන් අග්‍රාමාත්‍යතුමියගෙන් ප්‍රශ්න ඇසීම සඳහා ද කාලය වෙන් කර තිබේ.​මෙම සභා වාරය තුළ වැදගත් පනත් කෙටුම්පත් සහ යෝජනා රැසක් විවාදයට ගැනීමට නියමිතය. අද දිනයේ මුද්දර ගාස්තු, වරාය හා ගුවන් තොටුපල සංවර්ධන, නිෂ්පාදන බදු සහ එකතු කළ අගය මත බදු පනත යටතේ වන නියෝග මෙන්ම මහජන ආරක්ෂක ආඥාපනත යටතේ වන යෝජනාව ද විවාදයට ගැනේ. බදාදා දිනයේ විදුලි සංදේශ බදු සහ මුදල් සංශෝධන පනත් කෙටුම්පත් ද, බ්‍රහස්පතින්දා සමථකරණ සහ සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත ද විවාදයට ගැනීමට නියමිතය. සිකුරාදා දිනය වෙන් කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ රීති, රුපියල් බිලියන 20ක පරිපූරක ඇස්තමේන්තුව සහ මහ බැංකු වාර්ෂික ආර්ථික විවරණය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය සඳහාය.​මීට අමතරව, මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ද මෙම සභා වාරයට සමගාමීව සංවිධානය කර ඇත. කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතාගේ ඉල්ලීමකට අනුව මෙම වැඩසටහන පැවැත්වේ. වර්තමාන මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම අරමුණු කරගත් මෙම සාකච්ඡාව මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ජුනි 10 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,180

Leave A Reply

Your email address will not be published. Required fields are marked *