කුණාටුවෙන් බැටකෑ පවුලක අලුත් නිවසට ජනපතිගෙන් සුබ නැකතක්

දිට්වා සුළි කුණාටුවෙන් සිය නිවස අහිමි වූ අනුරාධපුර, ගල්නෑව ප්‍රදේශයේ පදිංචි ඉන්ද්‍රජිත් සම්පත් සේනාරත්න මහතාගේ නව නිවසට ගෙවැදීමේ මංගල්‍යය සහ සිංහල දෙමළ අලුත් අවුරුදු සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවේ පැවැත්විණි.​රජයේ වන්දි ආධාර මත මාස පහක් වැනි කෙටි කලක් තුළ ඉදිකිරීම් අවසන් කළ මෙම නිවස, කුණාටුවෙන් පූර්ණ හානි වූ නිවාස වෙනුවෙන් ගල්නෑව ප්‍රදේශයේ ඉදිවන නිවාස ව්‍යාපෘතියේ සාර්ථක ප්‍රතිඵලයකි. විපතට පත් ජනතාව යළි පදිංචි කරවීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මෙය ක්‍රියාවට නැංවිණි.​මෙහිදී නව නිවසේ චාරිත්‍ර ඉටුකිරීමට එක් වූ ජනාධිපතිවරයා, රැස්ව සිටි ප්‍රදේශවාසීන් සමඟ සුහද කතාබහක නිරත වෙමින් ඔවුන්ට අලුත් අවුරුදු සුබපැතුම් එක් කළේය. ජනතාව ද ඉතා උණුසුම් අයුරින් ජනාධිපතිවරයා පිළිගනිමින් සිය අලුත් අවුරුදු ආශිර්වාදය පළ කළහ.​ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බලපෑමට ලක්වූ නිවාස 66ක් සඳහා මේ වන විටත් වන්දි මුදල් පිරිනමා ඇති බව මෙහිදී අනාවරණය විය. පූර්ණ හානියට පත් නිවාස හයක් අලුතින්ම ඉදිවන අතර, අර්ධ හානි වූ නිවාස සඳහාද අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදී ජන ජීවිතය යථා තත්ත්වයට පත් කර ඇත.​මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන කේ.ඩී. ලාල්කාන්ත, වසන්ත සමරසිංහ සහ වෛද්‍ය සුසිල් රණසිංහ යන මහත්වරුන් ද, උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු මහජන නියෝජිතයෝ රැසක් ද සහභාගී වූහ. රජයේ මැදිහත්වීම මත ජනතාවට සහන සැලසීමේ කටයුතු පිළිබඳව ඔවුහු එහිදී සොයා බැලූහ.​දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවය, ස්වභාවික විපතකින් පසු ජනතාවට ශක්තියක් වෙමින් අලුත් අවුරුද්ද සැමරීමේ සංකේතාත්මක අවස්ථාවක් ලෙස සනිටුහන් විය.

What's your reaction?

Related Posts

1 of 1,095

Leave A Reply

Your email address will not be published. Required fields are marked *