වත්මන් රජය බිඳවැටෙනු ඇතැයි ඇතැම් පාර්ශ්ව බලාපොරොත්තු වුවද, මෙය ශක්තිමත් ජනවරමක් සහිත ආණ්ඩුවක් බැවින් 2029 වසරේදී පැවැත්වෙන ඊළඟ ජනාධිපතිවරණයෙන් ද ජයග්‍රහණය කරන්නේ අනුර කුමාර දිසානායක මහතා බව ඇමති වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරයි. ගෝලීය අර්බුද සහ මැදපෙරදිග පවතින යුද වාතාවරණය හමුවේ බලශක්ති මිල සහ නාවික ප්‍රවාහන ගාස්තු ඉහළ යාම වැනි දැඩි අභියෝග එල්ල වුවද, රජය මේ වන විට ආර්ථිකය සාර්ථකව කළමනාකරණය කරමින් සිටින බව ඔහු පෙන්වා දෙයි. ඩොලර් බිලියන හතක විදේශ සංචිත පවත්වාගෙන යාම රජයේ ප්‍රධාන ඉලක්කය වන අතර ඒ සඳහා ලෝක බැංකුව හරහා අවශ්‍ය ප්‍රතිපාදන ලැබෙමින් පවතින බව ද ඇමතිවරයා සඳහන් කළේය.ඩොලරයේ අගය රුපියල් 350 ඉක්මවා යන බවට විපක්ෂය මත ප්‍රචාරය කළ ද, එය මේ වන විට රුපියල් 340-345 සීමාවේ ස්ථාවරව පවතින බව ඇමතිවරයා ප්‍රකාශ කරයි. අනාගතයේදී මිල ඉහළ යනු ඇතැයි යන බියෙන් ඩොලර් එකතු කිරීමට ඇති ඉල්ලුම පාලනය කිරීම සඳහා, පෞද්ගලික වාහන ආනයන තීරුබදු මාස තුනක කාලයකට ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ. ඩොලරයේ අගය උච්චාවචනය වීම මත පමණක් ආණ්ඩු ඇද වැටෙන්නේ නැති බව පවසන වසන්ත සමරසිංහ මහතා, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ විදේශ ප්‍රේෂණ දිරිගැන්වීම හරහා රට තුළට ගලා එන විදේශ විනිමය ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවීමට රජය සැලසුම් සකස් කර ඇති බව ද පවසයි.නැවත වරක් රාජ්‍ය බලය ලබාගැනීමට සිහින දකින විපක්ෂයේ දේශපාලනඥයන්ට අදහස් දක්වමින් ඇමතිවරයා උපදෙස් දෙන්නේ, එවැනි බලාපොරොත්තු තබා ගැනීමට ප්‍රථම ඔවුන් සියලු දෙනා දේශපාලනික වශයෙන් එකතු වී ශක්තිමත් බලවේගයක් ගොඩනඟා ගත යුතු බවයි.



























