දිවයිනේ පළාත් කිහිපයක පවතින උණුසුම් කාලගුණික තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. අද පස්වරුවේ නිකුත් කරන ලද මෙම විශේෂ අවවාදාත්මක නිවේදනය හෙට (15) දිනය පුරා වලංගු වන අතර, සාමාන්‍ය උෂ්ණත්වයට වඩා වැඩි අගයක් මිනිස් සිරුරට දැනෙනු ඇති බවට පුරෝකථනය කර තිබේ.විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, නැගෙනහිර සහ දකුණු පළාත්වලට මෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයට ද මෙම බලපෑම තදින් දැනෙනු ඇත. සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතින බැවින්, එළිමහනේ රැකියාවල නිරත වන්නන් සහ කුඩා දරුවන් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.අධික උණුසුම නිසා ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු අවම කර ගැනීමට ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත්, හැකිතාක් සෙවණ ඇති ස්ථානවල රැඳී සිටින ලෙසත් සෞඛ්‍ය අංශ උපදෙස් දෙයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරන්නේ හිරු රශ්මියට සෘජුව නිරාවරණය වීම අවම කර ගැනීමෙන් විජලනය වැනි පීඩාකාරී තත්ත්වයන්ගෙන් ආරක්ෂා විය හැකි බවයි.























