විවිධ සූක්ෂ්ම උපක්‍රම භාවිත කරමින් මහජනතාව මුළා කර මුදල් වංචා කරන කණ්ඩායම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. බැංකු ගිණුම් තොරතුරු තහවුරු කිරීමේ මුවාවෙන් දුරකථන ඇමතුම් ලබා ගැනීම, ත්‍යාග සහ ආයෝජන අවස්ථා පෙන්වා මුදල් ලබා ගැනීම මෙන්ම ගිණුම්වලට ප්‍රවේශ වීම සඳහා රහස් අංක (PIN) සහ OTP අංක ඉල්ලා සිටීම වංචනිකයන් මේ දිනවල බහුලවම සිදුකරන බව පොලිසිය පෙන්වා දෙයි.මේ හේතුවෙන් කිසිදු අවස්ථාවක තමන්ගේ බැංකු ගිණුම්වල රහස්‍ය තොරතුරු බාහිර පුද්ගලයන් වෙත ලබා නොදීමට පියවර ගන්නා ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. කිසියම් ආයතනයකින් යැයි පවසමින් සැකකටයුතු ඇමතුමක් ලැබුණහොත්, අදාළ ආයතනයේ නිල දුරකථන අංකය ඔස්සේ එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කරගත යුතු අතර, කිසිදු බැංකුවක් දුරකථන ඇමතුම් මගින් ගනුදෙනුකරුවන්ගේ රහස්‍ය දත්ත ඉල්ලා නොසිටින බව ද අවධාරණය කෙරේ.යම් හෙයකින් මෙවැනි වංචනික ක්‍රියාවකට හෝ සැකකටයුතු ඇමතුමකට මුහුණ දීමට සිදුවුවහොත්, ප්‍රමාද නොවී ඒ පිළිබඳව ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත හෝ පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත වහාම දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය වැඩිදුරටත් උපදෙස් දෙයි.

























