දිවයිනට බලපා ඇති දැඩි වර්ෂාපතනය හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ නිල්අඩි ප්‍රදේශය ජලයෙන් යටවීම නිසා එම මාර්ගයේ ධාවන කටයුතු තාවකාලිකව සංශෝධනය කර තිබේ. ඒ අනුව අද (13) සහ හෙට (14) යන දෙදින තුළ පුත්තලම බලා ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය ඇතුළු සියලුම දුම්රියන් හලාවත දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. මාර්ගයේ පවතින අවදානම් තත්ත්වය සලකා මගී ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.මේ හේතුවෙන් හෙට උදෑසන ගමන් ආරම්භ කරන සියලුම දුම්රියන් පුත්තලම වෙනුවට හලාවත දුම්රිය ස්ථානයෙන් පිටත්වීමට නියමිතය. හලාවත සහ පුත්තලම අතර කොටස යථා තත්ත්වයට පත් කරන තෙක් දුම්රිය ධාවනය සීමා කෙරෙන අතර, කාලගුණික තත්ත්වය යහපත් වූ වහාම මාර්ගය පරීක්ෂා කර දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි ආරම්භ කරන බවත්, ඒ පිළිබඳව ඉදිරියේදී මහජනතාව දැනුවත් කරන බවත් දුම්රිය බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.

























