මෙරට ඩෙංගු රෝගීන් වාර්තා වීම 50%කට වඩා ඉහළට

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මෙරට ඩෙංගු රෝගීන් වාර්තා වීම සියයට 50ත් 55ත් අතර ප්‍රතිශතයකින් සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ජූනි මස 5 වැනිදා වන විට දිවයිනෙන් සමස්ත ඩෙංගු රෝගීන් 36,168 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඉන් අඩකට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇත්තේ බස්නාහිර පළාතිනි. මීට අමතරව ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, පුත්තලම සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ද රෝග ව්‍යාප්තිය තියුණු ලෙස ඉහළ ගොස් තිබේ. වසරේ මුල් භාගයේ පැවති වැසි සහිත කාලගුණය සහ මෑතකදී බලපෑ සුළි කුණාටු තත්ත්වයෙන් පසු පරිසරයේ කසළ එක්රැස් වීම හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන වැඩි වීම මීට ප්‍රධාන හේතුව බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.​මෙම අවදානම් සහගත තත්ත්වය වසංගතයක් දක්වා වර්ධනය වීම වැළැක්වීම සඳහා මදුරු මර්දන වැඩසටහන් කඩිනම් සහ ක්‍රමවත් කළ යුතු බව වෛද්‍යවරු අවධාරණය කරති. ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සෞඛ්‍ය අංශවලට පමණක් තනිව කළ නොහැකි බැවින්, තමන් ජීවත්වන පරිසරය සහ පොදු ස්ථාන පිරිසිදුව තබා ගැනීමට මහජනතාව සක්‍රීයව දායක විය යුතුය. පවතින තත්ත්වය හමුවේ නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකිරීම ඉදිරියේදී සමස්ත සමාජයටම බරපතළ සෞඛ්‍ය තර්ජනයක් වනු ඇති බවට ද අනතුරු ඇඟවේ.

What's your reaction?

Related Posts

1 of 1,177

Leave A Reply

Your email address will not be published. Required fields are marked *