ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ප්‍රකට පාතාල කල්ලි සාමාජිකයෙකු වන “කොණ්ඩා රංජිත්” ගේ සමීපතමයෙකු වන “හයිටෝප් තුෂාර” මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලයේ මෙරට ප්‍රධානියෙකු වන “මාරවිල අකිල” නමැත්තා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව වෙන්නප්පුව, දුම්මලදෙණිය ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී මෙම සැකකරු හසුකර ගැනීමට හැකිවී ඇත.මෙම වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 75කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 120කට වැඩි ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 53ක පමණ තොගයක් සොයාගෙන තිබේ. ඉතා සූක්ෂම ලෙස තම නිවස තුළ මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා තබාගෙන ප්‍රදේශය පුරා බෙදාහැරීමේ කටයුතු මොහු විසින් සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී හෙළි විය.අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වෙන්නප්පුව පොලිස් ස්ථානය වෙත භාරදී ඇති අතර, ඔහු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටී. මෙම ජාලයේ සෙසු සාමාජිකයන් සහ මූල්‍ය ගනුදෙනු පිළිබඳව ද මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.























