සුරේෂ් සලෙයි රඳවා තැබීම සහ වත්මන් විමර්ශන නාමල් රාජපක්ෂගේ විවේචනයට

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා අත්අඩංගුවේ තබාගැනීමේ ක්‍රියාවලිය දැඩි ලෙස විවේචනය කරමින් නාමල් රාජපක්ෂ මහතා සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ. සලෙයි මහතා රඳවා සිටින ආකාරය සහ ඔහුට සැලකීමේදී සිදුවන මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව නීතිඥවරුන් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු අතිශය කණගාටුදායක බව ඔහු පෙන්වා දෙයි. සුරේෂ් සලෙයි මහතා රඳවා තබාගෙන ඇත්තේ සාමාන්‍ය මහේස්ත්‍රාත් නියෝගයක් මත නොව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ බව ද හෙතෙම සිහිපත් කරයි.​මීට පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව දැඩි ලෙස හඬ නැඟූ සිවිල් සංවිධාන සහ මානව හිමිකම් ක්‍රියාකාරීන්, සලෙයි මහතා මෙම පනත යටතේම අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පවත්වන නිහඬතාව පිළිබඳව නාමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කරයි. එවැනි පාර්ශ්වයන්ගේ මෙම පරස්පර හැසිරීම හරහා ඔවුන්ගේ ප්‍රතිපත්තිමය ස්ථාවරය පිළිබඳ බරපතළ සැකයක් මතු වන බව ද ඔහු පවසයි. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු විය යුතු වුවත්, එය දේශපාලන උවමනාවන් මත සිදුවන තේරීම් සහගත ක්‍රමවේදයකින් බැහැරව සිදුවිය යුතු බව ඔහුගේ අදහසයි.​ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මගින් රාජකාරි පැහැර හැර ඇති බවට සෘජුවම නම් කරන ලද ඇතැම් නිලධාරීන්ම අද දින වත්මන් විමර්ශන මෙහෙයවීමට කටයුතු කිරීම හාස්‍යයට කරුණක් බව ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. විපක්ෂය ලෙස තමන් කිසිදු විමර්ශනයකට විරුද්ධ නොවන නමුත්, දේශපාලන පලිගැනීම් හෝ පක්ෂපාතී පරීක්ෂණ හරහා පාස්කු වින්දිතයන්ට කිසිදා සැබෑ යුක්තියක් ඉටු නොවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,177

Leave A Reply

Your email address will not be published. Required fields are marked *