22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව නීතිඥ සංගමයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස් සීමාව ඉහළ දැමීමට යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට ජනමත විචාරණයක් අවශ්‍ය බවට තීන්දුවක් ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ. සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වා යන මහත්වරුන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.​අදාළ සංශෝධනය හරහා විනිසුරුවරුන්ගේ සේවා කාලය පසුගාමී ලෙස දීර්ඝ කිරීම ජනතාවගේ පරමාධිපත්‍යයට සහ අධිකරණ ස්වාධීනත්වයට දැඩි ලෙස බලපාන බව පෙත්සම්කරුවන් පෙන්වා දී තිබේ. වත්මන් විනිසුරුවරුන්ගේ කාලය වසර දෙකකින් දීර්ඝ වීමෙන් උද්ගත වන වාසිදායක තත්ත්වයන් සහ ව්‍යවස්ථාදායකය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මඟහරිමින් කටයුතු කිරීම අධිකරණය අත්පත් කර ගැනීමක් (Court capture) ලෙස හැඳින්විය හැකි බවද එහි දැක්වේ.​මෙහි ඇති විශේෂ ස්වභාවය සහ අගවිනිසුරු ඇතුළු විනිසුරුවරුන්ට ප්‍රතිලාභ හිමිවීමේ ගැටුම්කාරී තත්ත්වය සැලකිල්ලට ගෙන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132(3)(iii) ව්‍යවස්ථාව යටතේ පූර්ණ විනිසුරු මඬුල්ලක් (Full Court) හමුවේ මෙම නඩුව විමසන ලෙසද නීතිඥ සංගමය වැඩිදුරටත් ඉල්ලා ඇත.

What's your reaction?

Related Posts

1 of 1,299

Leave A Reply

Your email address will not be published. Required fields are marked *