ජාතික සංවර්ධන බැංකුව (NDB) තුළ සිදුවූ බවට සැකකෙරෙන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඉන්දීය ‘ඩෙලොයිට්’ (Deloitte) ආයතනය සිදු කළ වෝහාරික විගණනයේ අතුරු වාර්තාව ලැබී තිබේ. එම වාර්තාවට අනුව, අදාළ සැකකටයුතු ගනුදෙනුවල මුළු වටිනාකම රුපියල් බිලියන 13.5කට අධික බව බැංකුව විසින් නිල වශයෙන් තහවුරු කර ඇත.මෙම වාර්තාවේ අඩංගු කරුණු මූලික මට්ටමේ පවතින බව සඳහන් කරන බැංකු පරිපාලනය, ගිවිසුම්ගත කොන්දේසිවලට අනුකූලව එම තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කරන බව අවධාරණය කරයි. මීට පෙරද අප්‍රේල් මාසයේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් බැංකුව විසින් කොටස් වෙළඳපොළ වෙත කරුණු අනාවරණය කර තිබූ අතර, මේ වන විට එම සිදුවීම මූල්‍ය ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව තිබේ.මෙම මූල්‍ය විෂමාචාරය සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා පියවර පිළිබඳව දැනුම් දෙන බව බැංකුව පවසයි. බැංකු පද්ධතියේ විශ්වාසනීයත්වය සහ අභ්‍යන්තර පාලන තන්ත්‍රයන්ගේ කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් සමාජය තුළ සහ ආයෝජකයන් අතර පවතින උනන්දුව හේතුවෙන්, නියාමන ආයතනවල මැදිහත්වීම සහ පරීක්ෂණවල ඉදිරි ප්‍රගතිය කෙරෙහි මේ වන විටත් දැඩි අවධානයක් යොමුව ඇත.



























