බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් සංවිධානය කළ මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සංස්කෘතික මහෝත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (14) ගම්පහදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. අග්‍රාමාත්‍යවරිය පළමුව ගම්පහ මැදගම ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානය වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වෙමින් පූජ්‍ය තුන්මෝදර සමිත හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තාය.අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීම සඳහා ගම්පහ ප්‍රදේශයේ නිවසක් තෝරාගෙන තිබූ අතර, වැඩ ඇල්ලීමේ සුබ නැකත උදාවීමත් සමඟ අග්‍රාමාත්‍යවරිය විසින් එම නිවසේ පැළයක් රෝපණය කරමින් දේශයට ආදර්ශයක් ලබා දුන්නාය. මෙම අවස්ථාවට බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්වරුන් ද එක්වෙමින් පැළ රෝපණය කිරීමේ සත්කාර්යයට දායක වූහ.අධ්‍යාපනයට මුල්තැන දෙමින් සුබ නැකතට අකුරු කියවීමේ හා ලිවීමේ චාරිත්‍රය සඳහා ද අග්‍රාමාත්‍යවරිය දරුවන් සමඟ එක් වූවාය. එහිදී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට මඟ පෙන්වූ ඇය, අනතුරුව නිවැසියන් හා දරුවන් සමඟ එක්ව සාම්ප්‍රදායික ජන ක්‍රීඩාවල නිරත වෙමින් අලුත් අවුරුදු සිරිය විඳගත් අයුරු දක්නට ලැබුණි.සම්ප්‍රදායානුකූලව ගනුදෙනු කිරීම හා ආහාර අනුභව කිරීමේ චාරිත්‍රවලට ද එක්වූ අගමැතිනිය, අභියෝගාත්මක කාල පරිච්ඡේදයකදී රටේ ස්ථාවරත්වය වෙනුවෙන් කැපවූ දෙස් විදෙස් සැමට සිය ස්තුතිය පුද කළාය. සූර්ය මංගල්‍යයෙන් විදහා දක්වන නැවුම් බව හා සාමූහිකත්වය තුළින් රට සෞභාග්‍යය කරා ගෙන යාමට එක්වන ලෙස ඇය මෙහිදී සමස්ත රටවැසියන්ගෙන් ඉල්ලා සිටියාය.අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, අලුත් අවුරුද්ද යනු පවිත්‍රතාවය හා ජීවය සංකේතවත් කරන උළෙලක් බවයි. සියලු දෙනාට සාමය හා සෞභාග්‍යය පිරි අනාගතයක් ප්‍රාර්ථනා කළ ඔහු, සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කරගැනීමේ වැදගත්කම ද අවධාරණය කළේය.මෙම අවස්ථාවට අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, මහින්ද ජයසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් රැසක් මෙන්ම ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ. ජන සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවය ඉතා සාමකාමී හා සංස්කෘතිකමය වැදගත්කමකින් යුතුව නිමාවට පත්විය.
























