වසර දහයකට අධික කාලයක් පුරා දිවයින තුළ ක්‍රියාත්මක වන කිලෝමීටර 312ක් පමණ වන සමස්ත අධිවේගී මාර්ග පද්ධතියේ නඩත්තු කටයුතු වඩාත් විධිමත් කිරීම සඳහා රජයේ අවධානය යොමුව තිබේ. මීට අමතරව, ඉදිරි 2027 – 2028 කාල සීමාව තුළ වරාය ප්‍රවේශ අධිවේගී මාර්ගය මෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මිරිගම සහ පොතුහැර – ගලගෙදර කොටස් ද අලුතින් ජනතා අයිතියට පත් කිරීමට නියමිතව ඇත.මේ වන විට භාවිතයේ පවතින යන්ත්‍රෝපකරණ සහ වාහන විශාල ප්‍රමාණයක් යල් පැන ගොස් තිබීම හේතුවෙන්, ඉදිරි මාර්ග සංවර්ධන හා නඩත්තු කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා නව උපකරණ ප්‍රසම්පාදනය කිරීමේ දැඩි අවශ්‍යතාවක් මතුවී තිබේ. ඒ අනුව, නව අධිවේගී මාර්ග ජාලය ක්‍රියාත්මක කිරීමට මෙන්ම පවතින මාර්ග නඩත්තු කටයුතු අඛණ්ඩව කරගෙන යාමට මාර්ග සංවර්ධන අධිකාරිය වෙත මෙම නව වාහන සහ යන්ත්‍රෝපකරණ ලබාගැනීමට තීරණය කර ඇත.ඒ සඳහා අවශ්‍ය වන රුපියල් මිලියන 1,200ක ඇස්තමේන්තුගත පිරිවැය අධිවේගී මාර්ගවලින් උපයාගත් අරමුදල් මඟින් දැරීමට නියමිතය. අදාළ වාහන සහ යන්ත්‍රෝපකරණ 21ක් ප්‍රසම්පාදනය කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.



























