හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් අද (19) කොළඹ මහාධිකරණයේදී අධි චෝදනා ගොනු කරනු ලැබීය. සේපාලිකා සමන් කුමාරී සහ කීර්ති බණ්ඩාර කොටගම යන අය මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම් කර ඇත.මෙම චෝදනාවලට අදාළව, 2022 මැයි 09 වනදා පැවති නොසන්සුන්කාරී තත්ත්වයේදී සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි මහවැලි අධිකාරියට අයත් ඉඩමක තිබූ ගොඩනැගිල්ලකට හානි සිදුවී තිබුණි. ඊට අදාළ වන්දි මුදලක් ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී, විත්තිකරුවන් විසින් තම නිල බලය අයුතු ලෙස යොදා ගනිමින් හානිපූර්ණ කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් කර රුපියල් මිලියන 8.85ක වන්දි මුදලක් ලබා ගත් බවට චෝදනා එල්ල වී ඇත.එම ක්‍රියාව “දූෂණය” ලෙස සලකා, අල්ලස් පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 10ක් ගොනු කිරීමට අල්ලස් කොමිසම පියවර ගෙන තිබේ. නඩු විභාගය සඳහා සාක්ෂිකරුවන් 30 දෙනෙකු සහ ලේඛනගත නඩු භාණ්ඩ 38ක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.



























