වත්මන් රජය බලයට පත්ව මාස විස්සක් ගතවී ඇතත් ඔවුන් ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇති බව සමගි ජන බලවේගයේ එස්.එම්. මරික්කාර් මහතා පවසයි. විදුලි බිල සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරන බවට දුන් බලාපොරොත්තු නිසා කාන්තාවන් බහුතරයක් මෙම ආණ්ඩුවට ඡන්දය දුන් බව සිහිපත් කළ ඒ මහතා, අද වන විට විදුලි බිල අඩු කරනවා වෙනුවට සියයට 44කින් ඉහළ දමා ඇති බව සඳහන් කළේය. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මාසයක් ඇතුළත දෙවතාවක් විදුලි බිල වැඩි කරමින් ජනතාව දැඩි පීඩනයකට පත් කර ඇති බව ද ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.රට තුළ සිදුවන මූල්‍ය අක්‍රමිකතා සහ පරිපාලන දුර්වලතා පිළිබඳව ද මරික්කාර් මහතා මෙහිදී දැඩි ලෙස ප්‍රශ්න කළේය. මහ බැංකු පද්ධතිය හැකර් ප්‍රහාරවලට ලක්වීම, ඇමරිකාවට යැවූ ඩොලර් ලක්ෂ හයක මුදලක් අතුරුදහන් වීම, ආර්.ඩී.ඒ. කොන්ත්‍රාත්කරුවන්ට මෙන්ම අස්වැසුම ප්‍රතිලාභීන්ට ද්විත්ව ගෙවීම් සිදු කිරීම සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඩොලර් අතුරුදහන් වීම වැනි පෙර නොවූ විරූ සිදුවීම් රැසක් වත්මන් පාලන කාලය තුළ වාර්තා වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. පාලකයින් කුමන ප්‍රකාශ සිදු කළද, වත්මන් ජනාධිපතිවරයා යටතේ රටේ ණය බර ඩොලර් මිලියන 2000කින් පමණ ඉහළ ගොස් ඇති බව ද ඔහු අනාවරණය කළේය.රජය තමන්ගේ අසාර්ථකත්වයන් වසා ගැනීමට මැදපෙරදිග යුද්ධය වැනි බාහිර හේතු ඉදිරිපත් කරමින් සිටින බවට ද ඔහු චෝදනා කළේය. දකුණු අප්‍රිකාවෙන් ගල්අඟුරු නැව් 17ක් ගෙන්වීමෙන් විශාල පාඩුවක් සිදුව ඇති අතර, මාසිකව බිලියන 10ක් වැය කරමින් අමතර විදුලිය මිලදී ගැනීමට සිදුව ඇත්තේ පාලකයින්ගේ වැරදි තීරණ නිසා බව මරික්කාර් මහතා පවසයි. මෙම සියලු පාඩු සහ අධික පිරිවැය පාලකයින්ගේ පෞද්ගලික ධනයෙන් නොව, අවසානයේදී මෙරට අහිංසක මහජනතාවගේ බදු මුදල්වලින් පියවා ගැනීමට සිදුව ඇති බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.



























