ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා සිය දෙදින නිල සංචාරය අවසන් කරමින් අද දිවයිනෙන් පිටත්ව ගියේය. ඊයේ (19) දිල්ලි නුවර සිට මෙරටට පැමිණි ඒ මහතා, දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ඉහළ පෙළේ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකටම එක් විය. මෙම සංචාරය ඉන්දු – ලංකා මිත්‍රත්වය නව මානයකට ඔසවා තැබූ සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකේ.සිය සංචාරය අතරතුර උප ජනාධිපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී සුහද සාකච්ඡාවල නිරත විය. මීට අමතරව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම මෙරට දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින්ද හමුවූ ඔහු, කලාපීය සහයෝගිතාව සහ ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වයන් පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තේය. මෙම හමුවීම්වලින් අනතුරුව අද පස්වරුවේ ඒ මහතා කටුනායක ගුවන්තොටුපළෙන් යළි ඉන්දියාව බලා පිටත්ව ගියේය.

























