ඊශ්‍රායල් රැකියා ක්ෂේත්‍ර 2කට වෙබ් ද්වාරය අද විවෘත කෙරේ

ඊශ්‍රායල් රාජ්‍යයේ අවන්හල් සහ ප්‍රතිසංස්කරණ යන රැකියා ක්ෂේත්‍ර සඳහා ශ්‍රමිකයින් තෝරාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk නිල වෙබ් අඩවිය ඔස්සේ අයදුම්පත් කැඳවීම ආරම්භ කෙරේ. ඒ අනුව, අවන්හල් ක්ෂේත්‍රය සඳහා අයදුම්කරුවන් 4,000 ක කෝටාවක් යටතේ ලියාපදිංචි කිරීම අද (10) දින පස්වරු 12.00 ට ආරම්භ වන අතර, ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයේ රැකියා 12,000 ක් සඳහා අයදුම්පත් භාරගැනීම අද පස්වරු 2.00 ට විවෘත වීමට නියමිතය.​අවන්හල් රැකියා සඳහා වයස අවුරුදු 25ත් 40ත් අතර, මූලික ඉංග්‍රීසි දැනුමක්, වසර 8ක පාසල් අධ්‍යාපනයක් සහ මුළුතැන්ගෙහි වසරක සේවා පළපුරුද්දක් ඇති පුරුෂයින්ට අයදුම් කළ හැකිය. ප්‍රතිසංස්කරණ අංශයේ ක්ෂේත්‍ර 4 ක් වන පොටි ඇඳීම, විදුලි පෙට්ටි සවිකිරීම, කපරාරු වැඩ සහ ටයිල් ඇස්බැස්ටෝස් හෝ බ්ලොක්ගල් බැඳීම වැනි කාර්යයන් සඳහා වයස 25ත් 45ත් අතර, වසර 10ක අධ්‍යාපනයක් සහ මූලික ඉංග්‍රීසි දැනුමක් ඇති අයදුම්කරුවන්ට අවස්ථාව හිමිවේ. මෙම සෑම අංශයක් සඳහාම අයදුම් කළ හැක්කේ මීට පෙර ඊශ්‍රායලයේ සේවය කර නොමැති සහ පවුලේ සමීප සාමාජිකයන් එරට නොමැති අයට පමණි.​සුදුසුකම් පරීක්ෂා කිරීමේදී ඊශ්‍රායල් නියෝජිතයින් විසින් නිපුණතාවය පරීක්ෂා කරනු ලබන බැවින්, තමන් සතු සැබෑ වෘත්තීය හැකියාවට ගැලපෙන ක්ෂේත්‍රය සඳහා පමණක් අයැදුම් කරන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය රැකියා අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියි. වැඩි විස්තර සහ අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා අදාළ වෙබ් අඩවිය වෙත පිවිසිය හැක.

What's your reaction?

Related Posts

1 of 1,278

Leave A Reply

Your email address will not be published. Required fields are marked *