පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කළ ප්‍රකාශ ශ්‍රී ලංකා පොලිසිය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ. මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වූ එම අදහස් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් පොලිස් මූලස්ථානය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.එම නිවේදනයට අනුව, සුරේෂ් සලේ මහතා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ පසුවන්නේ නීත්‍යානුකූල රැඳවුම් නියෝග මතය. එම රැඳවුම් කාලය තුළ ඔහුට කිසිදු ආකාරයක අමානුෂික සැලකීමක් හෝ ප්‍රහාරයක් එල්ල වී නොමැති බවත්, සාමාන්‍ය සැකකරුවෙකුට අදාළ නීතිමය පටිපාටියට අනුකූලව කිසිදු විශේෂ වරප්‍රසාදයකින් තොරව ඔහු කෙරෙහි කටයුතු කරන බවත් පොලිසිය අවධාරණය කරයි.මෙම විමර්ශන කටයුතු මේ වන විට අධිකරණ ක්‍රියාවලියකට යටත්ව පවතින බැවින්, විභාග වෙමින් පවතින නඩුවකට බලපෑම් විය හැකි මෙවැනි තහවුරු නොකළ ප්‍රකාශ මාධ්‍ය වෙත නිකුත් කිරීම නුසුදුසු බව පොලිසිය පෙන්වා දෙයි. එමෙන්ම අධිකරණ පටිපාටියට බාධාවක් විය හැකි මෙවැනි බාහිර ප්‍රකාශ සිදුකිරීමෙන් වැළකී සිටින ලෙස ද පොලිසිය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.



























