පැසිපික් සාගරය ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින ‘එල් නිනෝ’ දේශගුණික තත්ත්වය ඉදිරි ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී වඩාත් ප්‍රබල විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පෙන්වා දෙන්නේ මේ වසරේ නොවැම්බර් සිට 2027 ජනවාරි දක්වා කාලය තුළ මෙම තත්ත්වය ඉතා දැඩි මට්ටමකට පත්වීමේ 63%ක සම්භාවිතාවක් පවතින බවයි. කෙසේ වෙතත්, ඇමෙරිකානු සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය (NOAA) සඳහන් කරන්නේ මෙය ඉතා ප්‍රබල මට්ටමක් දක්වා වර්ධනය නොවීමට ද ඉඩකඩ ඇති බවයි.මෙම ගෝලීය දේශගුණික විපර්යාසය හේතුවෙන් ඉදිරි කාලයේදී මෙරට වර්ෂාපතන රටාවේ වෙනස්කම් අපේක්ෂා කෙරේ. ඒ අනුව දැනට පවතින නිරිතදිග මෝසම් වැසි ප්‍රමාණය අඩුවීමට ඉඩ ඇති අතර, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වැසි තත්ත්වයක් ඇතිවිය හැකිය. මේ හේතුවෙන් ඇතිවිය හැකි බලපෑම් සලකා බලා වගා කටයුතු, විදුලි උත්පාදනය සහ පානීය අවශ්‍යතා වෙනුවෙන් දැනට පවතින ජල ධාරිතාව ඉතා අරපිරිමැස්මෙන් කළමනාකරණය කරගැනීමට පියවර ගෙන ඇත.මේ අතර, සිදුවිය හැකි හානි අවම කරගැනීම සඳහා ඉදිරි මහ කන්නයේ වගා කටයුතු සුපුරුදු කාලයට පෙර ආරම්භ කරන ලෙස පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙම දේශගුණික අභියෝගයට සාර්ථකව මුහුණ දීම සඳහා ඉදිරි සති දෙක තුළ සියලුම අමාත්‍යාංශ ඒකාබද්ධ කරමින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.























