කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි නව විදුලි දුම්රිය ව්‍යාපෘතියක ඉදිකිරීම් කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිත බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසයි. හම්බන්තොට පැවැති ජනහමුවක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළ අතර, මරදානෙන් ආරම්භ වන මෙම දුම්රිය සේවය හරහා මගීන්ට වඩාත් කාර්යක්ෂම හා උසස් ප්‍රවාහන පහසුකමක් ලබාදීම රජයේ අපේක්ෂාවයි.මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමත් සමඟ බෙලියත්තේ සිට ‘රුහුණු කුමාරි’ දුම්රියෙන් පැමිණෙන මගීන්ට පානදුරෙන් බැස විදුලි දුම්රිය මඟින් පහසුවෙන් කොළඹ නගරයට ළඟාවීමට අවස්ථාව සැලසේ. මීට අමතරව, මෙට්‍රෝ බස් සේවාවන් හඳුන්වා දීම ඇතුළු මීට පෙර අත්හිටුවා තිබූ ප්‍රවාහන හා මහාමාර්ග සංවර්ධන කටයුතු රැසක් වර්තමාන රජය යටතේ යළි ආරම්භ කර ඇත.විශේෂයෙන්ම, කටුනායක – මීරිගම අධිවේගී මාර්ගයේ වැඩ අවසන් නොකළ කොටස්වල ඉදිකිරීම් දැන් ඇරඹී තිබේ. කිසිදු විදෙස් ණය මුදලක් ලබා නොගෙන රුපියල් බිලියන 112ක වියදමින් කුරුණෑගල – ගලගෙදර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ද මේ වන විට සාර්ථකව ආරම්භ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.



























