පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාව පරාජයට පත් වුවද, ගල් අගුරු ගනුදෙනුව පිටුපස ඇති දූෂිත ක්‍රියාවන් පිළිබඳ සත්‍ය තොරතුරු මේ වන විට රට හමුවේ අනාවරණය වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. තිස්සමහාරාමය ප්‍රදේශයේ විහාරස්ථාන කිහිපයක ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, අදාළ ටෙන්ඩර් පටිපාටිය ලිහිල් කරමින් ප්‍රමිතියෙන් තොර සමාගම්වලට අවස්ථාව ලබා දීම නිසා රටට විශාල පාඩුවක් සිදුව ඇති බවයි.විගණකාධිපති වාර්තා උපුටා දක්වමින් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ, තෝරාගත් සමාගම නියමිත ප්‍රමිතියෙන් යුතු ගල් අගුරු සැපයීමට මෙන්ම නියමිත නැව් ප්‍රමාණය ලබා දීමට ද අපොහොසත් වී ඇති බවයි. මේ හේතුවෙන් රජයට හදිසි මිලදී ගැනීම් වෙත යොමු වීමට සිදු වූ බවත්, එම ක්‍රියාවලිය තුළ ද බරපතල අක්‍රමිකතා රැසක් සිදුව ඇති බවත් ඒ මහතා චෝදනා කළේය. බාල ගල් අගුරු භාවිතය නිසා බලාගාරවල ක්‍රියාකාරීත්වයට පවා බලපෑම් එල්ල වී ඇති බව බලාගාර වාර්තාවලින්ම ඔප්පු වී තිබේ.මෙම සමස්ත ගනුදෙනුව සම්බන්ධයෙන් ස්වාධීන, විනිවිදභාවයකින් යුතු හා අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බව විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය. රජය විසින් මෙම ගනුදෙනුව නිවැරදි බව පෙන්වීමට උත්සාහ කළද, සමගි ජන බලවේගය විසින් පෙන්වා දුන් යථාර්ථය මේ වන විට ජනතාවට පැහැදිලි වෙමින් පවතින බවත්, දූෂණයට එරෙහි තම සටන අත්නොහරින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.රටේ අනාගත ප්‍රසම්පාදන ක්‍රියාවලීන් රහසිගතව සිදු නොකර ජනතාවට විවෘත විය යුතු බවත්, ඒ සඳහා විනිවිද පෙනෙන නව යාන්ත්‍රණයක් අවශ්‍ය බවත් ඒ මහතා මෙහිදී යෝජනා කළේය. ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්ෂිත කරමින්, සෑම ක්ෂේත්‍රයකම සිදුවන ටෙන්ඩර් පටිපාටි පොදු මහජනතාවට නිරීක්ෂණය කළ හැකි මට්ටමින් පවත්වාගෙන යාම පාලකයින්ගේ වගකීමක් බව ද සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
























