මෙරට රජයේ පාසල් පද්ධතිය තුළ පවතින දැඩි ගුරු හිඟයට පිළියම් යෙදීම සඳහා අලුතින් ගුරුවරුන් 23,000ක් බඳවා ගැනීමට රජය තීරණය කර ඇත. මෙම නව බඳවා ගැනීමේ ක්‍රියාවලිය වත්මන් වසර අවසානයේදී ආරම්භ කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය මෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ධුරය දරන ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැති බස්නාහිර පළාත් ජාතික පාසල් විදුහල්පතිවරුන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහනකට එක්වෙමින් ඇය මේ බව අනාවරණය කළාය.මෙම පුළුල් බඳවා ගැනීම් වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කිරීම තුළින් ඉදිරි 2027 වසර වන විට මෙරට පාසල්වල පවතින ගුරු පුරප්පාඩු ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් අවම කර ගැනීමට හැකිවනු ඇතැයි රජය අපේක්ෂා කරයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම වෙනුවෙන් ක්‍රියාවට නැංවෙන මෙම වැඩපිළිවෙළ හරහා පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වඩාත් විධිමත් වනු ඇතැයි ද අග්‍රාමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නාය.



























