ගෝඨාභය රාජපක්ෂගේ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්නැයි නීතිපතිගෙන් ඉල්ලීමක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙස නීතිපතිවරයා අද (06) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය. වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ මෙම ඉල්ලීම ඉදිරිපත් කළාය.​එහිදී කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළේ පෙත්සම්කරු විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් මූලික අයිතිවාසිකම්වලට සෘජුවම සම්බන්ධ වන බවයි. එවැනි කරුණු විභාග කිරීමට අභියාචනාධිකරණයට නීතිමය බලයක් නොමැති බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම සුදුසු බව ඇය පෙන්වා දුන්නාය.​මෙම අවස්ථාවේදී පෙත්සම්කාර හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සිය දේශනය අවසන් කළ අතර, පෙත්සමට අදාළ වැඩිදුර කරුණු දැක්වීම් සලකා බැලීම මේ මස 09 වනදා දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,224

Leave A Reply

Your email address will not be published. Required fields are marked *