සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය වරකාගොඩ ශ්රී ඥානරතන නාහිමියෝ ප්රකාශ කරති. බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු උසස් බන්ධනාගාර නිලධාරීන් පිරිසක් අස්ගිරි මහා විහාරයේදී උන්වහන්සේ හමුවූ අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ. ඥානසාර හිමියන්ට නිදහස ලබාදීමේ ක්රමවේදයක් පවතීදැයි මෙහිදී විමසා සිටියද, ඒ පිළිබඳව මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව බන්ධනාගාර කොමසාරිස්වරයා පවසා ඇත.අනතුරුව බන්ධනාගාර නිලධාරීන් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සුමංගල නාහිමියන්ද බැහැදැක තිබේ. විවිධ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත වන හෝ සිරගත වන භික්ෂූන් වහන්සේලා උදෙසා වෙනම රැඳවුම් ස්ථානයක් ස්ථාපිත කිරීම සුදුසු බව මල්වතු මහනාහිමියෝ එහිදී යෝජනා කළහ.එම ස්ථානයේදී භික්ෂූන් වහන්සේලාට ආගමික වතාවත්වල යෙදීමට නිදහස ලබාදීම සහ උන්වහන්සේලාට සුදුසු පරිදි සැලකීම වැදගත් බව උන්වහන්සේ පෙන්වා දුන්හ. කෙසේ වෙතත්, මෙම යෝජනාව සම්බන්ධයෙන් මීට පෙරද සාකච්ඡා පවත්වා තිබුණද අවසන් තීරණයකට එළඹී නොමැති බව වාර්තා වේ.



























