ශ්රී ලංකාව සහ කියුබාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් යාපනයේ පෞද්ගලික හෝටල් පරිශ්රයකදී පැවැත්විණි. මෙරට කියුබානු තානාපතිනි පැට්රීෂියා ලසාරා පෙගෝ ගෙවරා මහත්මිය සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් මහතා ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී කරුණානාදන් ඉලංකුමරන් සහ යාපනය දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු සම්බන්ධීකාරක සුන්දරමූර්ති කපිලන් යන මහත්වරුද මීට සහභාගී වූහ.මෙහිදී දෙරටෙහිම වර්තමාන ආර්ථික හා දේශපාලන තත්ත්වයන් මෙන්ම 2022 වසරේදී ශ්රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ගත් පියවර පිළිබඳව අදහස් හුවමාරු කර ගැනුණි. විශේෂයෙන්ම කියුබාවේ නොමිලේ අධ්යාපනය ලබාදීමේ ක්රමය, වෛද්ය අධ්යාපනයේ ප්රගතිය සහ විදේශීය සිසුන්ට හිමිවන උසස් අධ්යාපන අවස්ථා පිළිබඳව වැඩි අවධානයක් යොමු විය. දැනටත් යාපනය ප්රදේශයේ සිසුන් තිදෙනෙකු කියුබාවේ වෛද්ය අධ්යාපනය ලබන අතර, ඉදිරියේදී දෙරටේ විශ්වවිද්යාල අතර අධ්යයන හා ශිෂ්ය හුවමාරු වැඩසටහන් ව්යාප්ත කිරීමටද සාකච්ඡා කෙරිණි.එසේම යුද්ධයෙන් පසු උතුරු පළාතේ සිදුවන සාමාජීය හා ආර්ථික සංවර්ධනය, යාපනය විශ්වවිද්යාලයේ උන්නතිය සහ තල් ආශ්රිත නිෂ්පාදන ක්ෂේත්රය නූතනකරණය කිරීම සඳහා ගෙන ඇති උත්සාහයන් පිළිබඳවද තානාපතිනිය දැනුවත් කෙරිණි. අධ්යාපනික, වෛද්ය හා තාක්ෂණික ක්ෂේත්රයන්හි සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීමේ වැදගත්කම අවධාරණය කරමින් මෙම හමුව නිමාවට පත් විය.



























