’ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ පරිසර පොලීසිය එක්ව සංවිධානය කරන විශේෂ ඩෙංගු මර්දන සතිය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය ලබා දී තිබේ. ජූලි 05 වැනිදා සිට 12 වැනිදා දක්වා ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ දිවයින පුරා ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නාවික හමුදා භට පිරිස් ක්ෂේත්‍ර රාජකාරිවල නිරත වෙති.මෙහි ප්‍රධාන අදියරක් ලෙස “ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා” යන තේමාව යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂ ශ්‍රමදාන වැඩසටහන් මාලාවක් දියත් කෙරිණි. ඒ අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත භට පිරිස්, ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සමඟ එක්ව මෝදර, මට්ටක්කුලිය, බොරැල්ල, වනාතමුල්ල, පානදුර, නාරහේන්පිට, මහර සහ වත්තල යන ප්‍රදේශවල මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කිරීමට පියවර ගෙන ඇත.මීට සමගාමීව දිවයිනේ සෙසු ප්‍රදේශවල පිහිටි සියලුම නාවික විධානයන් මඟින්ද තම බලප්‍රදේශ ආවරණය වන පරිදි පරිසරය පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරමින් පවතී. එමෙන්ම නාවික හමුදා කඳවුරු පරිශ්‍රයන්ද මදුරු උවදුරෙන් තොර කලාප බවට පත් කිරීමට පියවර ගෙන ඇති අතර, මෙම මාරාන්තික රෝගය මර්දනය කිරීමේ ජාතික වගකීම වෙනුවෙන් නාවික හමුදාව ඉදිරියටත් අඛණ්ඩව සහාය දක්වන බව සඳහන් කරයි.

























