ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඇමරිකානු එක්සත් ජනපද තැපැල් සේවාව (US Post) වෙත ගෙවන ලද ඩොලර් ලක්ෂ හයකට අධික මුදලක් අතුරුදන් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. තැපැල්පතිවරයා කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ක්‍රියාත්මක වන අතර, අදාළ මුදල් අවස්ථා දෙකකදී බැර කර තිබියදීත් එය අදාළ ආයතනයට ලැබී නොමැති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (06) දැනුම් දෙනු ලැබීය. මේ වන විටත් නියෝජ්‍ය තැපැල්පතිවරයා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, සිද්ධියට අදාළ ඊමේල් පණිවිඩ හුවමාරු පිළිබඳවද විශේෂ අවධානයක් යොමුව තිබේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව, ශ්‍රී ලංකා හදිසි පරිගණක ප්‍රතිචාර සංසදයේ (CERT) සහය ඇතිව සිද්ධිය වූ ස්ථානයේ පරීක්ෂාවක් සිදු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය. පොදු දේපළ පනත සහ පරිගණක අපරාධ පනත යටතේ සිදු කෙරෙන මෙම පරීක්ෂණ හරහා මූල්‍ය වංචාවක් හෝ තාක්ෂණික මැදිහත්වීමක් සිදුව ඇත්දැයි සොයා බැලීමට නියමිතය. මෙම මහා පරිමාණ මුදල් අතුරුදන් වීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු හඳුනාගෙන නොමැති අතර විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වේ.

























